හබරාදුව ළමා නිවාසයේ දැරියන් පස් දෙනෙකුට එහි සේවකයකු කර තිබුනු පිළිකුල් සහගත අපරාධය

මල් කැකුලුවන් දරුවන් තලා පෙලා දමන පාපතරයන් පිලිබදව පසුගිය දින කිහිපයේම වාර්තා උනු අතර ඉරණවිල පිරිමි දරුවකු පවා මෙවැනි පාපතරයකු නිසා දිවියෙන් සමුගෙන ගියේ මීට දින කිහිපයකට පෙරයි. නීතියේ ඇති සිදුරුවලින් රිංගා යමින් එම පාපතරයා මීට පෙරද එවැනිම අපරාධයක් කර ඇති බවත් වාර්තා උනි. දෙමාපිය හව්හරණයක් නොමැතිව ළමා නිවාසයක දිවි ගෙවන දැරියන් කිහිපදෙනෙකුට මෙවැනි තවත් අපරාධයක් කල එහිම සේවකයකු පිලිබදව වාර්තා වෙනවා.

ඒ අනුව හබරාදුව ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි බාලවයස්‌කාර දැරියන් පස්‌ දෙනකුට වරින් වර ලිංගික අතවර කළ එම ළමා නිවාසයේ සේවකයකු හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (04දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සේවකයා හබරාදුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන අතර වසර එකොළහක්‌ තිස්‌සේ මෙම ළමා නිවාසයේ සේවය කොට ඇති බැව් පරික්‌ෂණවලදී අනාවරණය වී ඇත. මෙම සේවකයා දැනට මාසයක පමණ සිට වරින් වර මෙම දැරිවියන් පස්‌ දෙනාට ලිංගික අතවර කොට ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. මෙසේ ලිංගික අතවරවලට ලක්‌කොට ඇත්තේ අවුරුදු එකොළහක්‌ වයස දැරියන් දෙදෙනකු, දහතුන් හැවිරිදි වියේ පසුවන දැරියක හා පහළොස්‌ හැවිරිදි වියේ පසුවන දැරියන් දෙදෙනෙකි. අතවරට ලක්‌වූ එක්‌ දැරියක විසින් මේ බව ළමා නිවාසයේ සිටින සෙසු දැරියන් සමඟ පවසා ඇති අතර මෙම සේවකයා එනවිට දැරියන් ඔහු මගහැර යන තත්ත්වයක්‌ ද ඇතිවී තිබේ.

ළමා නිවාසයේ සහකාර පාලිකාව විසින් දැරියන්ගෙන් ප්‍රශ්න කොට මේ බව තහවුරු කරගැනීමෙන් පසු හබරාදුව පොලිසියට පැමිණිලි කොට ඇත. හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති මංගලිකා සූරියආරච්චි මහත්මිය මේ ගැන සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් දැරියන් සිප වැළඳ ගැනීම, ඇතුළු ලිංගික අතවර සිදුකොට ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකාර සේවකයා ඊයේ (05දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උ.පො.ප.මංගලිකා සූරියආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් මේ පිළිබඳ පරීක්‌ෂණ පවත්වනු ලැබේ.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌.කේ. කළුආරච්ච්, හබරාදුව -එල්. ඒ. ආරියරත්න

Related Posts

Author:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *